Homeක්‍රිකට්Nationalශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ ප්‍රගතිය ගැන නිවේදනයක්!

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ ප්‍රගතිය ගැන නිවේදනයක්!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරිවර්තනය කිරීම සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් 2026 අප්‍රේල් 29 වැනිදා පත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව (Cricket Transformation Committee), සිය වගකීම් යටතේ මේ දක්වා ලබා ඇති ප්‍රගතිය පිළිබඳව දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කමිටුව පෙන්වා දෙන්නේ, එහි ප්‍රධාන අරමුණු ලෙස යහපාලනය ස්ථාපිත කිරීම,දක්ෂතා ඉහළ නැංවීම සහ දෛනික පරිපාලන කටයුතු විධිමත් කිරීම යන කරුණු කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි.

නව ව්‍යවස්ථාවක්

කමිටුව පත් කිරීමෙන් අනතුරුව මාස 02ක් වැනි කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කර රජයට භාර දී තිබෙනවා.

කමිටුව පවසන්නේ, එම නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වනවිට රජය විසින් සිදුකරමින් පවතින බවයි.

නව ව්‍යවස්ථාව මගින් නවීන ක්‍රිකට් ක්‍රීඩාවේ අවශ්‍යතා පිළිබිඹු වන ස්ථාවර පදනමක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරන බවත්, ICC ඇතුළු ප්‍රධාන පාර්ශ්වකරුවන්, ශ්‍රී ලාංකික ජනතාව සහ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් සඳහා පිළිගත හැකි රාමුවක් නිර්මාණය කිරීම අරමුණ බවත් සඳහන්.

ප්‍රධාන පෙළේ ක්‍රීඩා සමාජ සංඛ්‍යාව අඩු කිරීමට තීරණයක්

Major Club Tier ‘A’ තරගාවලියේ ක්‍රීඩා සමාජ සංඛ්‍යාව දැනට පවතින 14 සිට ඉදිරි වසර දෙක තුළ 10 දක්වා අඩු කිරීමට කමිටුව තීරණය කර තිබෙනවා.

එමෙන්ම Tier ‘B’ කාණ්ඩයේ ක්‍රීඩා සමාජ 12ක් ලෙස පවත්වාගෙන යාමට නියමිතයි.

හොඳම දේශීය ක්‍රීඩකයන් ඉහළම මට්ටමේ තරගාවලියට එක් කිරීම සහ වඩාත් තරගකාරී දේශීය ක්‍රිකට් ව්‍යුහයක් නිර්මාණය කිරීම මෙහි අරමුණ වී තිබෙනවා.

Major Club සිව්දින තරග

Major Club Tier ‘A’ League තරගාවලිය දැනට ක්‍රියාත්මක දින තුනක ආකෘතිය වෙනුවට දින හතරක තරගාවලියක් ලෙස පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මෙය විශේෂයෙන්ම ටෙස්ට් ක්‍රිකට් සඳහා ක්‍රීඩකයන්ගේ සූදානම වැඩි කිරීමේ අරමුණින් ගත් පියවරක් බව කමිටුව පවසනවා.

එමෙන්ම ක්‍රීඩකයන්ට ප්‍රමාණවත් විවේක කාලයක් ලබාදෙමින් තරග කාලසටහන වඩාත් විධිමත් කිරීමටත් පියවර ගෙන තිබෙනවා.

මේ හරහා ආබාධ සහ ක්‍රීඩකයන්ගේ අධික වෙහෙස අවම කිරීමටත්, ක්‍රීඩා සමාජ, පුහුණුකරුවන් සහ විකාශකයන්ට කල්තියා සැලසුම් කිරීමටත් හැකියාව ලැබෙනු ඇති බව සඳහන්.

පාසල් ක්‍රිකට් ව්‍යුහයේ වෙනස්කම්

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් හඳුනා ගැනීමේ සහ සංවර්ධනය කිරීමේ ප්‍රධාන මාර්ගයක් වන පාසල් ක්‍රිකට් තරගාවලිය නවීකරණය කිරීමේ කටයුතු ද මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

තණතිලිවල ප්‍රමිතිය ඉහළ නැංවීම

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තණතිලිවල ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා නව ජාතික තණතිලි භාරකරුවෙකු (National Curator) බඳවාගෙන තිබෙනවා.

මෙම බඳවා ගැනීමේ ස්වාධීන සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලිය මෙහෙයවා ඇත්තේ ICC හි හිටපු ප්‍රධාන තණතිලි භාරකරු Andy Atkinson විසින්.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට්හි ජාත්‍යන්තර ක්‍රීඩාංගණවල සේවය කරන සියලුම තණතිලි භාරකරුවන් මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සෘජු සේවයට ගෙන තිබෙනවා.

පුහුණුකරුවන්ගේ ප්‍රමිතිය ඉහළ නැංවීම

දිස්ත්‍රික් සහ පළාත් මට්ටමේ පුහුණුකරණ ව්‍යුහය ශක්තිමත් කිරීම සඳහා නව පුහුණුකරුවන් පත් කර තිබෙනවා.

ඒ සඳහා පැවැත්වූ දැඩි සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියට ලොව පිළිගත් පුහුණුකරු සංවර්ධන විශේෂඥයෙකු වන Ashley Ross ද එක්ව තිබෙනවා.

High Performance Centre සහ සමස්ත පුහුණුකරණ ව්‍යුහය සමාලෝචනය කිරීමටද ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ කටයුතු කරමින් සිටින බව කමිටුව සඳහන් කරනවා.

දිස්ත්‍රික් සහ පළාත් පුහුණුකරුවන් ශ්‍රී ලංකා ක්‍රිකට්හි සෘජු සේවයට ගැනීමට ද පියවර ගෙන තිබෙනවා.

විනිසුරු සහ තරග තීරක ප්‍රමිතිය

පාසල් ක්‍රිකට් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා විනිසුරුවන් සහ තරග තීරකයන්ගේ ප්‍රමිතිය ඉහළ නැංවීමට නව වැඩසටහන් ආරම්භ කර තිබෙනවා.

හිටපු ICC විනිසුරුවරයෙකු වන Lyndon Hannibal Umpires Development Manager ලෙසත්, හිටපු ICC විනිසුරුවරයෙකු වන Ruchira Palliyaguruge Umpire Coach ලෙසත් පත් කර තිබෙනවා.

ඔවුන්ගේ වගකීම වන්නේ පාසල්, ක්‍රීඩා සමාජ සහ ජාත්‍යන්තර මට්ටම්වල විනිසුරු සහ තරග තීරක ප්‍රමිතීන් ඉහළ නැංවීමයි.

ක්‍රීඩා වෛද්‍ය සහ ක්‍රීඩක සුබසාධනය

ශ්‍රී ලංකා ක්‍රිකට්හි Sports Medicine අංශය ද නැවත සංවිධානය කරමින් පවතිනවා.

1996 ලෝක කුසලානය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ භෞතචිකිත්සකවරයෙකු ලෙසත් පසුව Cricket Australia සමඟත් කටයුතු කළ Dr. Alex Kountourisගේ සහාය මේ සඳහා ලබාගෙන තිබෙනවා.

ජාතික පිරිමි කණ්ඩායමේ මානසික සූදානම සහ Mental Skills සංවර්ධනය කිරීම සඳහා Sports Psychologistවරයෙකුද වැඩසටහනට එක් කර තිබෙනවා.

කාන්තා ක්‍රිකට් සංවර්ධනය

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් සංවර්ධනය කිරීම සහ එහි ප්‍රතිරූපය ඉහළ නැංවීම සඳහා ද පියවර ගෙන තිබෙනවා.

කාන්තා ක්‍රීඩිකාවන්ගේ වෘත්තීය සංවර්ධනය වෙනුවෙන් පුහුණු වැඩසටහන් මෙන්ම මාධ්‍ය සහ සන්නිවේදන කුසලතා සංවර්ධන වැඩසටහන් ද මේ වනවිට ආරම්භ කර තිබෙන බව කමිටුව පවසනවා.

වියදම් පාලනය කර මූල්‍ය කළමනාකරණය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනවශ්‍ය වියදම් පාලනය කිරීම සඳහා ද පියවර කිහිපයක් ගෙන තිබෙනවා.

අනවශ්‍ය නීතිමය කටයුතුවලින් ඉවත් වීම, අවශ්‍යතාවක් නොමැති උපදේශක සේවා අවසන් කිරීම, පැහැදිලි වගකීම් නොමැති තනතුරු ඉවත් කර කාර්ය මණ්ඩලය විධිමත් කිරීම සහ අධික ප්‍රමාණයකින් පැවති පුහුණුකරණ ව්‍යුහය කුඩා කිරීම ඒ අතර වනවා.

එමගින් ඉතිරි වන මූල්‍ය සම්පත් ක්‍රීඩක සංවර්ධනය සහ ක්‍රිකට් යටිතල පහසුකම් සඳහා වැඩි වශයෙන් යොමු කිරීමට හැකි වනු ඇති බව කමිටුව පෙන්වා දෙනවා.

අසාධාරණ ලෙස දඬුවම් ලැබූ පාර්ශ්ව වලට සහනය

අතීතයේදී අසාධාරණ ලෙස දඬුවම් හෝ අවාසිවලට ලක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සේවකයන් සහ ක්‍රීඩා සමාජ සඳහා සහනය ලබාදීමට ද පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට්, එහි සේවකයන්, සාමාජික ක්‍රීඩා සමාජ සහ අනෙකුත් පාර්ශ්වකරුවන් අතර විශ්වාසය යළි ගොඩනැංවීම මෙහි අරමුණ බව සඳහන්.

මේ දක්වා ගෙන ඇති පියවර ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියේ වැදගත් ආරම්භක පියවර බව පරිවර්තන කමිටුව පවසනවා.

සෑම මට්ටමකම ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කළ හැකි ශක්තිමත් පදනමක් සකස් කරමින්, ශ්‍රී ලංකා ක්‍රිකට් නැවතත් ලෝක මට්ටමේ ක්‍රිකට් ආයතනයක් සහ ගෝලීය වශයෙන් ගෞරවයට පාත්‍ර වන ක්‍රිකට් සන්නාමයක් බවට පත් කිරීම තම අරමුණ බව කමිටුව අවධාරණය කරනවා.

පරිවර්තන ක්‍රියාවලිය ඉදිරියට යන විට තවත් පියවර හඳුන්වාදීමට නියමිත අතර, ඉදිරි වර්ධනයන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව තවදුරටත් කැපවී සිටින බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න කටයුතු කරන අතර ලේකම්වරයා ලෙස ප්‍රකාශ් ශාෆ්ටර් කටයුතු කරනු ලබනවා. කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ, රොෂාන් මහානාම, කුමාර් සංගක්කාර, සිදත් වෙත්තමුණි, තුෂිර රදැල්ල, උපුල් කුමාරප්පෙරුම, ඩිනාල් ෆිලිප්ස් සහ අවන්ති කොළඹගේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments