Homeක්‍රිකට්Player Storiesඉන්දීය කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටම නායිකාව - හර්මන්ප්‍රීත් කෝර්!

ඉන්දීය කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටම නායිකාව – හර්මන්ප්‍රීත් කෝර්!

හර්මන්ප්‍රීත් කෝර්

තමන්ගේ රටේ මිනිස්සු ඉස්සරහා ලෝක කුසලානක් ක්‍රීඩා කරන එක,ඒ කණ්ඩායමට නායකත්වය දෙන එක ඊටත් වඩා ලෝක කුසලානය ජයග්‍රහණය කරනවට වඩා විශේෂ දෙයක් නායකයෙක්ට තියෙන්න පුලුවන්ද? ඊටත් වඩා අවුරුදු 50ක් වුණ තමන්ගේ රටේ කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ දිනපු පළවෙනිම කාන්තා ලෝක කුසලානය තමන්ගේ නායකත්වය යටතේ කණ්ඩායම ජයග්‍රහණය කරනවා කියන එක ඒ විශේෂත්වය තවත් වැඩි කරනවා.

අසල්වැසි ඉන්දියාවට ඉන්නවා ඒ වගේ නායකයෙක්,ඒ හර්මන්ප්‍රීත් කෝර්.මීට කලින් දවසක හර්මන්ප්‍රීත් ගැන කතා කරා,ඒ එක සුවිශේෂී කඩඉමක් පහු කරපු දවසක.කාන්තා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට්,එක්දින සහ විස්සයි විස්ස කියන ආකෘති තුනේම නායිකාව විදිහට කටයුතු කරපු හර්මන්ප්‍රීත් කෝර් අද නායකත්වයෙන් ඉල්ලා අස්වුණා.ඒක මේ වෙද්දි ගොඩක් දෙනෙක් දන්න කතාවක්.

ඉතින් හර්මන් කියන්නේ අවුරුදු 50ක් විතර වෙන ඉන්දීය කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ එයාලට පළවෙනි සහ එකම කාන්තා ලෝක කුසලානය ජයග්‍රහණය කරන්න 2025 අවුරුද්දෙදි ඉන්දීය කණ්ඩායම මෙහෙයවපු නායිකාව.

2016දී මුලින්ම විස්සයි විස්ස නායකත්වයට පත්වෙලා,2022දි එක්දින නායකත්වයටත් පත් වෙලා 2023 ටෙස්ට් නායකත්වයටත් පත්වීම එක්ක, 2023 ඉදලා අද නායකත්වයෙන් ඉවත් වෙනකන්ම ආකෘති තුනේම නායිකාව විදිහට ඉන්දීය කණ්ඩායම මෙහෙයවන වගකීම අකුරටම හර්මන්ගේ අතින් ඉෂ්ට වුණා කිව්වත් වරදක් නෑ.නායිකාවක් විදිහට ඉන්දීය කණ්ඩායම අරන් කාන්තා ක්‍රිකට් වල අරන් ගියපු තැන් ඒවට සාක්ෂි කියයි.

2016දි මුලින්ම විස්සයි විස්ස නායකත්වය භාරගත්තා කිව්වට 2012 අවුරුද්දේ පැවැත්වුණ පළවෙනි කාන්තා විස්සයි විස්ස ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී Stand-in Captain විදිහට හර්මන්ට කටයුතු කරන්න වෙනවා.එදා ලැබුණ පළවෙනි අවස්ථාවෙන්ම ආසියානු කුසලානය ජයග්‍රහණය තැනට ඉන්දීය කණ්ඩායම මෙහෙයවන්න හර්මන්ට පුලුවන් වෙනවා.

හැබැයි ඒ වෙද්දි නිත්‍ය නායිකාව විදිහට හිටපු මිතාලි රාජ්ටම නායකත්වය දීලා 2016 වෙනකන් ආපහු අවුරුදු තුනක්ම කණ්ඩායමේ සාමාන්‍යය ක්‍රීඩිකාවක් විදිහට හර්මන්ට ක්‍රීඩා කරන්න වෙනවා.

එහෙම ඉද්දි තමයි 2016දී ඉන්දියාව සත්කාරකත්වය දරපු කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයේදී එකම එක තරගයක් විතරක් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කිරීම එක්ක මිතාලි රාජ් නායකත්වයෙන් සහ විස්සයි විස්ස ආකෘතියටත් සමුදෙන්නේ.ඉතින් විස්සයි විස්ස නායකත්වය එදා හර්මන්ට ආවේ එහෙම.

එදා ඉදලා අද නායකත්වයට සමු දෙනකන්ම හර්මන්ප්‍රීත් කෝර් කාන්තා විස්සයි විස්ස තරග 155කදී ඉන්දීය කාන්තා කණ්ඩායම මෙහෙයවලා තියනවා,තරග 92ක්ම ජයග්‍රහණය කරලත් තියනවා.තරග ජයග්‍රහණය කිරීමේ සාමාන්‍යය 59.35ක්,නායිකාවන්ගේ ලයිස්තුව සහ නායකත්වය දරපු තරග ගණන බලද්දි පැහැදිලි ඉදිරියකින් හර්මන් ඉන්නවා.අනිත් කාරණාව තමයි නායකයෙක් විදිහට කාන්තා හෝ පිරිමි විස්සයි විස්ස තරග 150ක් ක්‍රීඩා කරපු එකම නායකයත් හර්මන්ම තමයි.විශේෂම දේ ලෝක විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ කාන්තා හෝ පිරිමි ජාත්‍යන්තර විස්සයි විස්ස තරග වැඩි ප්‍රමාණයක් ජයග්‍රහණය කරවපු නායකයත් හර්මන්ප්‍රීත් කෝර්මයි තරග 92ක්.

ඉන්දියාව වගේ රටක ක්‍රිකට් කණ්ඩායමක නායකත්වයේ ඉන්නවා කියන එක පහසු නෑ,Performance පැත්තත් Consistency ඇතුව තියාගෙන යන්න ඕනි කියන එක රහසක් නෙවේනේ.

ඉතින් ජාත්‍යන්තර විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ නායිකාවක් විදිහට වැඩිම ලකුණු රැස් කරපු ක්‍රීඩිකාවන් අතර හර්මන්ප්‍රීත් ඉන්නේ දෙවෙනි තැන.ඒ ලකුණු 3416ක් එක්ක.හර්මන් දෙවෙනි වෙන්නේ ලකුණු 3690ක් රැස් කරලා තියන චමරි අතපත්තුට විතරමයි.

හර්මන්ප්‍රීත් රැස්කරලා තියන එකම කාන්තා විස්සයි විස්ස ශතකයත්,අර්ධ ශතක 18න් 16ක්මත් රැස් කරලා තියෙන්නේ නායිකාවක් විදිහට.සරලවම කිව්වොත් කණ්ඩායමට දිනන්න Impact එකක් වුණ ඉනිම් ක්‍රීඩා කරපු නායිකාවක් මේ.

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන 4කදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවලා එක්වතාවක් අවසන් මහා තරගයටත් අවස්ථා දෙකකදී අවසන් පූර්ව වටයටත් ඉන්දීය කණ්ඩායම අරන් එන්න හර්මන්ට පුලුවන් වුණා.

මේ විස්සයි විස්ස තරග වලදී 2016-2026 කාලය ඇතුළේ හර්මන්ප්‍රීත්ගේ Achievements.

එතකොට එක්දින තරග පැත්තට එද්දි කලින් කිව්වා වගේම 2022දි තමයි හර්මන් මුලින්ම එක්දින නායකත්වයට පත්වෙන්නේ ඒ ශ්‍රී ලංකාවට එරෙහිව පල්ලේකැලේදි.2022දි මිතාලි රාජ් නායිකාව විදිහටම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන්නට පස්සේ තමයි එක්දින නායකත්වයත් හර්මන්ට ලැබෙන්නේ.

2022-2026 කාලය ඇතුළේ නායිකාවක් විදිහට කාන්තා එක්දින තරග 51කදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවලා තියනවා වගේම තරග 30ක් ජයග්‍රහණය කරලත් තියනවා.සාමාන්‍යය 58.82ක අගයක තියෙන්නේ.

එක්දින තරගවලදී නායිකාවක් විදිහට ලකුණු 1804ක් රැස් කරලා තියනවා 44.00ක සාමාන්‍යයක් එක්ක.

එක්දින තරග පැත්තෙන් නායිකාවක් විදිහට කතා කරන්න තියන හර්මන්ගේ Key Achievement එක තමයි 2025 එක්දින ලෝක කුසලාන ජයග්‍රහණය.

එදා තමන්ගේ රටේ මිනිස්සු ඉස්සරහා,අවුරුදු ගානක් තිස්සේ කිසිම ඉන්දීය නායිකාවකට සැබෑ කරගන්න බැරිවුණ ලෝක කුසලානය හීනය තමන්ගේ රට වෙනුවෙන් සම්පූර්ණ කරලා දෙන්න හර්මන්ට පුලුවන්වුණා.

ටෙස්ට් තරග පැත්තට එද්දි ටෙස්ට් තරග 5කදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවලා තරග 4ක්ම ජයග්‍රහණය කරවන්න හර්මන්ප්‍රීත් සමත් වෙලා ඉන්නවා වගේම ඉන්දීය කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ජයග්‍රහණය කරලා තියන ටෙස්ට් තරග 9න් 4ක්ම ජයග්‍රහණය කරලා තියෙන්නේ හර්මන්ගේ නායකත්වය යටතේ.මෑතකදි ලෝඩ්ස් වල ක්‍රීඩා කරපු පළවෙනි කාන්තා ටෙස්ට් තරගය ජයග්‍රහණය කරපු කණ්ඩායම වුණ ඉන්දීය කණ්ඩායමේ නායිකාව වුණෙත් හර්මන්.

ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් තරග 211කදී ඉන්දීය කණ්ඩායමට නායකත්වය දුන්න ඒ නායකත්ව ඉනිම අදින් අවසන් කරන්න හර්මන්ප්‍රීත් කෝර් තීරණය කරලා තිබුණා.

නායකත්වයට සමුදීම ගැන ප්‍රේක්ෂකයින්ට සදහන් කරපු සටහනේ හර්මන් මෙහෙම සදහන් කරලා තිබුණා,

“නායකයෙක් විදිහට, මට දුෂ්කර තීරණ ගන්න වෙලා තියනවා.සමහර වෙලාවට සමහර පිරිස් ඒ තීරණ තේරුම් නොගත්ත නිසාම සමහර වෙලාවට පුද්ගලිකව වන්දි ගෙවන්න වුණ අවස්ථාත් තියනවා.හැබැයි මම ගත්ත හැම තීරණයක්ම මම ගත්තේ මේ කණ්ඩායම වඩා හොඳ කරන්න සහ අනිත් ක්‍රීඩිකාවන්ට ඉදිරියට එන්න පහසුවෙන්න, තමන් ගැන විශ්වාස කරන්න පුලුවන් වෙන තත්වයක් නිර්මාණය කරන්න විතරයි.

මම ඒ හැමදේම දැක්කා.ඉතාම පහත් අවස්ථා, හද කම්පා කරවන සුළු අවස්ථා, විවේචන, සැක කරපු අවස්ථා වල ඉදලා හොදම,ඉහළම අවස්ථා වෙනකන් දේවල් මම අත්විඳලා තියනවා.

හැඟීම්වලින් පිරුණු හදවතකින් නමුත් සාමයෙන් අදම නායකත්වයෙන් ඉවත්වෙන්න මම තීරණය කරා මොකද මම ඇත්තටම විශ්වාස කරනවා මගේ කණ්ඩායම හොඳ තැනක ඉන්නවා කියලා.”

හර්මන් කියනවා වගේම ප්‍රේක්ෂකයින්,සමාජ මාධ්‍ය ඇතුළු ජනමාධ්‍ය වගේම මේ හැමෝටම වඩා හිටපු ඉන්දීය ක්‍රීඩිකාවන් හර්මන්ගේ නායකත්වය ගැන ප්‍රශ්න කරපු,විවේචනය තැන් ඕන තරම් තිබුණා,එක්දින ලෝක කුසලාන ජයග්‍රහණ එක්ක ඒ තත්වය ටිකක් අඩු වුණාට පහුගිය මාස කිහිපයේදිත් තත්වය සුපුරුදු පරිදිම වුණා.

ඒ හැමදේම එක්ක 2016දී විස්සයි විස්ස නායකත්වය භාරගනිද්දි ශ්‍රේණිගත කිරීම්වල 5වෙනි තැන හිටපු ඉන්දීය කණ්ඩායම අද ලෝකේ හොදම කණ්ඩායම් 3ට ඇවිත් ඉන්නවා,2022දි එක්දින නායකත්වය භාරගනිද්දි එක්දින ශ්‍රේණි­ගත කිරීම්වල 4වෙනි තැන හිටපු කණ්ඩායම තුන්වෙනි තැනට ගෙනත් ලෝක කුසලානයක් දිනපු රටක් බවට පත් කරන්න හර්මන්ට පුලුවන් වුණා.ඉතින් හර්මන් කියනවා වගේම,හිතනවා වගේම අද ඉන්දීය කාන්තා කණ්ඩායම හොද තැනක ඉන්නවා.

නායිකාවක් විදිහට තමන්ගේ වගකීම් වලින් නිදහස් වෙන දවසට හොද කණ්ඩායමක් නිර්මාණය කරලා සමුගන්න වගකීම හර්මන්ප්‍රීත් හරියටම ඉෂ්ට කරලා තිබුණා.ආසියානු කලාපයේ රටක නායිකාවකට මේක ලේසි නෑ.

Diana Edulji වගේ හර්මන්ව නායකත්වයෙන් ඉවත් කරන්න අවුරුදු ගාණක ඉදලා බලාගෙන ඉන්න හිටපු ඉන්දීය ක්‍රීඩිකාවෝ කියන විදිහට බොහෝදුරට එක්දින,විස්සයි විස්ස හෝ ටෙස්ට් කියන ආකෘති තුනෙක් එකක් විතරක් තෝරගෙන ක්‍රීඩා කරන්න හර්මන්ප්‍රීත්ට ඉස්සරහට සිද්ධවේවි.

ඉදිරිය කොහොමවුණත් කාන්තා එක්දින ලෝක කුසලානයක්,කාන්තා විස්සයි විස්ස ආසියානු කුසලාන 4ක්,ආසියානු රන් පදක්කම් දෙකක් තමන්ගේ රටට දිනලා දුන්න,ඉන්දීය් කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ හොදම නායිකාවගේ,ලෝක කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ පහළ වුණ තවත් එක විශිෂ්ට නායිකාවකගේ නායකත්වයේ භූමිකාව එහෙම අවසන් වුණා.

මේ තමන්ගේ රටේ ක්‍රිකට් වෙනස් කරපු නායකයෝ.

ඊළගට කවුරු ඉන්දීය කාන්තා ක්‍රිකට් වල නායකත්වයේ වගකීම භාරගනීද?

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments