HomeSinhalaFootballලියොනල් මෙසි ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි!

ලියොනල් මෙසි ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි!

ආජන්ටිනා පාපන්දු වංශකතාවේ අතිදක්ෂ ක්‍රීඩකයෙක් වන ලියොනල් මෙසි සිය ජාත්‍යන්තර පාපන්දු දිවියට නිල වශයෙන් සමුදීමට තීරණය කර තිබෙනවා. 39 වැනි වියෙහි පසුවන මෙසි, මෙම තීරණය තමන්ට දැඩි වේදනාවක් ගෙනදුන් එකක් වුවද සමුගැනීමට සුදුසුම කාලය පැමිණ ඇති බවයි සඳහන් කර සිටියේ.

2022 කටාර් ලෝක කුසලානය ජයග්‍රහණය කරා ආජන්ටිනා කණ්ඩායම මෙහෙයවූ මෙසි, තරග 207 කදී ගෝල 125 ක් රැස්කරමින් ආජන්ටිනාව වෙනුවෙන් වැඩිම තරග සංඛ්‍යාවකට ක්‍රීඩා කළ මෙන්ම වැඩිම ගෝල සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්ව සිටිනවා.

සිය ඉන්ස්ටග්‍රෑම් (Instagram) ගිණුම ඔස්සේ සටහනක් තබමින් මෙසි ප්‍රකාශ කළේ තමන් ජාතික කණ්ඩායම වෙනුවෙන් කළ හැකි උපරිම කැපවීම සිදුකළ බවයි.

“කාලය වේගයෙන් ගෙවී යනවා, පරිච්ඡේද අවසන් වෙනවා. මෙය මගේ හදවතට දැඩි ලෙස වේදනා දෙන තීරණයක්. මම ජාතික කණ්ඩායමට යොමුකළ ආදරය සදාකාලිකයි. මම මගේ උපරිමය ලබා දී අවසන්. දැන් මට ලබාදීමට අලුතින් කිසිවක් ඉතිරිව නැහැ. ඒ වගේම අවස්ථාව ලැබිය යුතු දක්ෂ නැගී එන යොවුන් ක්‍රීඩකයින් පිරිසක් අප පසුපස සිටිනවා.”

පසුගිය ජූලි 19 වනදා පැවැති ලෝක කුසලාන අවසාන මහා තරගයෙන් ආජන්ටිනාව ස්පාඤ්ඤයට පරාජය වීමෙන් දින දෙකකට පසුව, එනම් ජූලි 21 වනදා තමන් මෙම සමුගැනීමේ ලිපිය ලියූ බව මෙසී වැඩිදුරටත් අනාවරණය කළේ. එසේම මෑතකදී දීර්ඝ කාලීන රෝගී තත්ත්වයකින් පසුව අභාවප්‍රාප්ත වූ සිය පියාගේ (ජෝර්ජ් මෙසි) වියෝවෙන් පසු මෙම තීරණය පිළිබඳව තමන් තවදුරටත් තහවුරු වූ බවද ඔහු සඳහන් කරනවා.

2005 වසරේ හංගේරියාවට එරෙහිව ආදේශක ක්‍රීඩකයෙකු ලෙස ජාත්‍යන්තර වරම් දිනූ මෙසි, පළමු තරගයේදීම රතු කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත්වීමට සිදුවුවද, පසුව ලොව පහළ වූ විශිෂ්ටතම පාපන්දු තාරකාව බවට පත් වුණා.

2022 ලෝක කුසලානය සහ කොපා ඇමෙරිකා (Copa America) ශූරතා 2ක් ඔහු ආජන්ටිනාවට දිනා දුන් අතර ලෝක කුසලාන ඉතිහාසයේ දෙවනුවට වැඩිම ගෝලලාභියා (ගෝල 21) සහ ජාත්‍යන්තර පාපන්දු ඉතිහාසයේ දෙවනුවට වැඩිම ගෝලලාභියා (ගෝල 125) වන්නේද ඔහුයි.

එමෙන්ම ලෝක කුසලාන තරගවලදී සහායක ගෝල 12 ක් වාර්තා කර ඇති අතර, ඉන් 10 ක්ම පිළිමලුන් පිටුදැකීමේ (knockout) වටවලදී වාර්තා කර තිබීම විශේෂත්වයක්.

2016 වසරේදීද මෙසි ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කළ අතර, පසුව ක්‍රීඩාලෝලීන්ගේ ඉල්ලීම මත නැවත කණ්ඩායමට එක් වුණා. ජාත්‍යන්තර පිටියට සමුදුන්නද, මෙසි ඇමෙරිකාවේ ‘ඉන්ටර් මියාමි’ (Inter Miami) කණ්ඩායම වෙනුවෙන් තවදුරටත් ක්‍රීඩා කිරීමට නියමිතයි.

“පසුගිය වසර 20 පුරා ලබාදුන් ආදරයට ස්තූතියි. ඔබ සැම ලබාදුන් සහයෝගය මට ගොඩක් මතක් වේවි. මින් ඉදිරියට මමත් ඔබ වගේම පිටත සිට කණ්ඩායමට සහය දෙන ප්‍රේක්ෂකයෙක්,” යැයි පවසමින් මෙසි සිය ආදරණීය ප්‍රේක්ෂකයින්ට සමුදුන්නා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments